අකුරැස්ස ප්‍රධාන නගරයට සැතපුමක නුදුරින් අකුරැස්ස - දෙණියාය ප්‍රධාන මාර්ගයට මුහුණලා පුංචි කඳුගැටයක් මුදුනේ මනරම් පරිසරයක ස්ථාපිතව ඇති මාර/පෝරඹ විද්‍යාලය වසර 113ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනු ලැබේ.1908 නොවැම්බර් මස 30 වෙනි දින කන්‍යා සොහොයුරියකගේ මූලිකත්වයෙන් ඉතා කුඩා එක් ගොඩනැඟිල්ලක කන්‍යාරාමයක් (කාන්තා පාසලක්) ලෙස ගැහැණු ළමයි කිහිප දෙනෙකුගෙන් මේ පාසල ආරම්භ කර ඇති බව ඉතිහාසය පෙන්වා දෙති.මෙම පාසල පෝරඹ ගම්මානයට ලැබුණු මහඟු දායාදයක් බව නොකියාම කිව නොහැකිය.කාලයාගේ ඇවෑමෙන් මෙම කාන්තා පාසල මිශ්‍ර පාසලක් ලෙස පරිවර්තනය වී ඇත.දරුවන්ගේ වර්ධනයක් ඇතිවී තිබූ බැවින් ගොඩනැඟිලි සංඛ්‍යාව තවත් එකකින් පමණක් වැඩිවී තිබූ බව ඉතිහාසය මැනවින් දත් පැරැන්නන්ගෙන් දැන ගැනීමට හැකිවූ බව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුම පෙන්වා දුන්හ.එදා මෙදාතුර විදුහල්පතිවරුන් 18දෙනෙකු පාසලට නායකත්වය ලබාදී ඇති බව පාසල් ඉතිහාසය පිළිබඳ සටහන්වී ඇති පත පොතේ සඳහන්ය.
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාග ප්‍රතිඵල ප්‍රතිශතය අනුව වසර කිහිපයක්ම අකුරැස්ස කලාපයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ. සෑම වසරකම 90% ක ඉහළ ප්‍රතිඵල ලබාගෙන ඇති බව පාසල් වාර්තා පෙන්වා දෙති.විශේෂයෙන්ම සදහන් කළ යුතු දෙයක් ඇත.එනම් විදුහල්පතිගේ මඟපෙන්වීමෙන් ගුරු භවතුන් සිය කැමැත්තෙන් කරන කැපවීම මත සතියේ සෑම දිනකම 5 වසර ශිෂ්‍යත්වය විභාගයට සූදානම් වන සිසුන් වෙනුවෙන් දිනපතා සවස නොමිලයේ පන්ති පැවැත්වේ. 3 සහ 4 වසර පන්ති සඳහා සෑම සතියකම දින 3 ක් නොමිලයේ පන්ති පැවැත්වෙන අතර සාමාන්‍ය පෙළ සිසුන් සඳහා දිනපතාම නොමිලයේ පන්ති පැවැත්වේ.රුපියල් සතවලින් කිළිටි වන සමාජයක ඒ පසු පස හඹා නොයා තම පෞද්ගලික අවශ්‍යතාවන් පසෙකලා අනාගත දරු පරපුර වෙනුවෙන් උපරිම කැපවීමෙන් විදුහල්පතිවරයා සහ ගුරු භවතුන් කරනු ලබන මෙම සමාජ මෙහෙවර ඇගයීමට ලක් කළ යුතුවේ.මේ හේතුවෙන්ම මවුපියන් සහ සුබ පතන්නන් විදුහලට විවිධ ආකාරයේ උදව් උපකාර කිරීමට කටයුතු කරන බව විදුහල්පති සහ ගුරු භවතුන් ස්තුති පූර්වකව සඳහන් කරති.ආර්.ඩී. දයාල් ලක්මාල් මහතා අධ්‍යාපන සංවර්ධන ලෙස හා චිත්‍රා නාලනී රණවීර මහත්මිය පරිපාලන ලෙසත් නියෝජ්‍ය විදුහල්පතිවරුන් වශයෙන් කටයුතු කරන අතර 46 දෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලයක් සේවයට කැපවී සිටිති.10 දෙනෙකුගෙන් සමන්විත අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් සිය සේවාවන් නොපිරිහෙලා ඉටුකරමින් පාසලේ සංවර්ධනයට අත හිත දෙමින් සිටිති. පෝරඹ විදුහල අද වන විට ගොඩනැඟිලි 12 කින් සමන්විත වූ අකුරැස්ස කලාපයේ කීර්තිමත් පාසලක් ලෙස ඉතිහාසයට එක්වී හමාරය.විද්‍යාලයට සියලු පහසුකම් ඇති ක්‍රීඩා පිටියක් විදුහල අබියස ස්ථාපිතව ඇත. දිනපතා පෙරවරු 6.00 සිට 7.00 දක්වාත් සවස 4.00 සිට 6.00 දක්වාත් 6 වෙනි ශ්‍රේණියෙන් ඉහළ තෝරාගත් සිසුන් පිරිසක් සදහා ක්‍රීඩා පුහුණුව ලබාදීමට ක්‍රීඩා භාර ගුරුභවතා කටයුතු කරනු ලබයි. මෙම ක්‍රීඩා පුහුණුව හේතුවෙන්ම මලල ක්‍රීඩාවලින් අකුරැස්ස කලාපයේ මෙන්ම දකුණු පළාතේ තරගවලින් ප්‍රථම ස්ථාන දිනා ගනිමින් සිසුන් කිහිප දෙනෙකුම වාර්තා පිට වාර්තා තබා ඇත.විදුහල්පති කාමරයේ රඳවා ඇති කුසලාන ඒ පිළිබඳ සාක්ෂි දරනු ලබයි.විදුහලේ ඇති සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් දරුවන්ට පරිගණක තාක්ෂණික දැනුම ලබාදීමට වෙනම අංශයක් ස්ථාපිත කර එම අධ්‍යයන කටයුතු මැනවින් පවත්වාගෙන යති.නර්තන අංශයෙන් පැවැති තරග අවස්ථා කිහිපයකින්ම කලාප , පළාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන ඇත.අකුරැස්ස ප්‍රදේශයේ දීප්තිමත් පාසලක් ලෙස නම් දරමින් ඉදිරියට ගමන් කරමින් දිවයිනේ හොඳම පාසල් ගොන්නට එකතු වන්නට මාර/පෝරඹ විද්‍යාලයට හැකිවේවා